Sunday 9 March 2014

සිංහල බ්ලොග් ලෝකයේ පොරක් වෙන්නේ කෙසේද ?


දැන් ඉස්සරට වඩා බ්ලොග් ලියන්න අය එනවා. හැබැයි ලියන ඒවා නං බොහෝකොට අන්තිමයි. බොහෝ වෙලාවට තියෙන්නේ කොහෙන් හරි කොපි කරලා තමන්ගේ වගේ දාගත්ත එකක් , නැත්නම් මෙලෝ හරයක් නැති ප්‍රලාප ටිකක් . නැත්නම් ඉතාම පටු කෝණයක හිරවෙලා ඉඳගෙන ලෝකේ විග්‍රහ කරලා තමන්ගේ "පෘතුල බුද්ධිය" විදහා පෑමට උත්සාහ කරන අදෝනාවක්.

එත් කමක් නැහැ. තමන්ට කැමති දෙයක් ලිවිම තමන්ට ඇති අයිතියක්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මේ එන ගොඩක් උදවිය ඉන්නේ සිරස සුපර් ස්ටාර් මානසිකත්වයේ. එක රැයෙන් සිංහල බ්ලොග් ලෝකයේ දිදුලන තරුවක් වීමේ ලාමක මානසිකත්වයෙන්. පොස්ට් කීපයක් දාල ඔවුන් බලාපොරොත්තු වෙනවා බ්ලොග් ලෝකයේ නැගී එන සුපිරි තරුව , එක පොස්ට් එකකට හිට්ස් 1000 ක් , කොමෙට් 100 ක්. බුද්ධිමත් දාර්ශනික බ්ලොග් කරුවන් අතර අග තනතුරක්. 

දවසෙන් දෙකෙන් එහෙම නොවෙන බව තේරුනාම ඔවුන් නොඉවසිලිමත් වෙනවා. කොහොම හරි ජනප්‍රිය වෙන්න කරන තුට්ටු දෙකේ හිඟන යාදිනි , වංචනික ක්‍රියා සහ කල්ලි ගැසීම් නිසා නිකංම පීචන් වෙලා හත්පොලේ ගාගෙන බ්ලොග් වේදිකාවෙන් කීප දිනකින්ම ඉවත් වී යනවා.

ඉතිං දැන් අහන්න තියෙන ප්‍රශ්නය. බ්ලොග් ලෝකයේ පොරක් වෙන්න ඔය තරම් අමාරුද ? මොකද්ද බ්ලොග් ලෝකයේ පොරක් වෙන්න තිබෙන නොවරදින මාර්ගය ?

මාතලන් ගොයියා බ්ලොග් ලියන හැටි කියල දෙන්න පාඨමාළා තිබ්බට මෙහෙම එකක් ලියල නැහැනේ. එක නිසා මේ පොර වෙන හැටි කියා දීම මහසොහොන්ගෙන් ම පමණයි. මම මේක මගේ නීතිඥයන්ට යවල අනුමැතිය අරන් තමයි දාන්නේ. හිකිස්!

Oky , jokes aside... හෙමිහිට බලමු පොර වෙන විදිය. මෙන්න තියෙනවා ඒ සම්බන්ධයෙන්  වෙන දස පනත.

1. තමන්ට ආවේනික අනන්‍යතාවයක් සකසා ගන්න. 

මේ අනන්‍යතාවය ඕන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි කොපි කැට් ඔට්ටු නැහැ. කතන්දරකාරයාගේ ජනප්‍රියතාවය දැකල ඒ වගේම තවත් බ්ලොග් එකක් "මගේ කතන්දර" , "ගම කතා" වගේ එකක් පටන්ගන්නවට වඩා වෙනස් දෙයක් කරන්න පටන්ගන්න එක තමයි නිර්මානශිලිත්වයක් තිබෙන දියුණුවෙන දෙයක් කරන්න කැමති කෙනෙකුට ඔබින්නේ.

මේ අනන්‍යතාවය තමන්ගේ සැබෑ චරිතයත් සමග සමපාත වීම කිසිසේත්ම අවශ්‍ය නැහැ. එහෙම උනා කියල ප්‍රශ්නෙකුත් නැහැ. නමුත් මොකක් උනත් තමන් සයිබර් අවකාශයේ ගොඩනගා ගන්නා චරිතයට තමන් 100% ක් සාධාරණය ඉෂ්ට කල යුතුයි. මෝඩ යකා කළා වගේ භාෂණයේ අයිතිය ගැන දාර්ශනික මත දෙසා බාමින් කොමෙන්ටු මැකීම වගේ දෙකින් පෙන්වන්නේ තමන්, තමන් ගොඩනංවන්න හදන චරිතයට 100% සාධාරණය ඉෂ්ට කරන්නේ නැති බවයි. එහෙම යථාවාදී , තථාකාරී නොවෙන , එකක් කියමින් වෙන දෙයක් කරන බ්ලොග් චරිත නිකන්ම පීචන් වෙලා යනවා.

මේ ආවේනික අනන්‍යතාවය කියන එකට තමන්ගේ ප්රෝෆයිලයේ නම , එයට අදාළ රුපය , භාෂාව පරිහරණය කරන විලාශය සහ තමන් නිරුපනය කරන්න , කරුණු දක්වන්න අදහස් කරන ක්ෂේත්‍ර සමපාත වීමත් අවශ්‍යයි. මේවා අතර ඝට්ටනය වීමක් සිදුවීම, එම තමන් ගොඩනංවන්න හදන ප්‍රතිරූපයට හානිදායකයි.

උදාහරණයක් ගමු.
ප්රෝෆයිලයේ නම : සොත්ති උපාලි
ප්රෝෆයිලයේ රූපය : ටෙඩි බෙයාර්
ලියන ක්ෂේත්‍ර : කවි , නිසදැස් සහ ඉවුම් පිහුම් රෙසිපි
භාෂාව පරිහරණය : අනේ හරි ස්වීට්. දිගටම ලියන්නකෝ . අපි එන්නං කියවන්න.

දැන් මේ ප්‍රෝෆයිලය දැක්ක හැටියේම පේනවා නේද මේකේ විවිධ අංශ අතර සිදුවෙලා තියෙන අසමපාත වීම. මේව කිච වෙන ප්‍රොෆයිල්/බ්ලොග් .

දැන් මේ තැනැත්තා මේක හරියට කරනවා නම් ප්‍රෝෆයිලය සකසා ගත යුත්තේ කොහොමද ?
ප්රෝෆයිලයේ නම : ස්වීට් ලයිෆ්
ප්රෝෆයිලයේ රූපය : හදවතක් හෝ කේක් ගෙඩියක්
ලියන ක්ෂේත්‍ර : කවි , නිසදැස් සහ ඉවුම් පිහුම් රෙසිපි
භාෂාව පරිහරණය : අනේ හරි ස්වීට්. දිගටම ලියන්නකෝ . අපි එන්නං කියවන්න.

සොත්ති උපාලි ප්‍රොෆයිල් එකක් නම් කොහොම වෙන්න ඕනෙද ?
ප්රෝෆයිලයේ නම : සොත්ති උපාලි
ප්රෝෆයිලයේ රූපය : ග්‍රෙනේඩ් එකක් හෝ T 56 ක්
ලියන ක්ෂේත්‍ර : දේශපාලනය , වැඩි දෙනෙක් නොදකින සමාජයේ අඳුරු පැති , මර්සි වැඩ සහ වලි වල විස්තර
භාෂාව පරිහරණය : ඩෝ දිගටම මේ වගේ ලියපන්. නැත්නම් එවනවා සුදු වෑන් එකක්.


2. තමන් දන්න දෙයක් ලියන්න. නොදන්නා දේවල් දන්නවා කියල බොරුවට ලියා කිච නොවන්න.

මේ ලෝකේ හැම දේම දන්නා මිනිස්සු හරිම දුර්ලභයි. ගොඩක් දෙනෙක් දන්නේ , සංවේදී වෙන්නේ මේ ලෝකයේ තියෙන අගණිත සංක්‍යාවක් වෙන මාතෘකා අතරින් කීපයකට පමණයි. එම නිසා තමන් ලිවීමට අදහස් කරන ක්ෂේත්‍රයන් මුලදීම තේරුම් අරගෙන ඒ ක්ෂේත්‍රයන්ට ගැලපෙන ආකාරයෙන් තමන්ගේ ප්‍රෝෆයිලය හා ඒ සමග බැඳුනු සයිබර් අනන්‍යතාවය සකසා ගන්න. උදාහරණයක් විදියට ඉහත දැක්වූ සොත්ති උපාලිගේ උදාහරණය ගන්න. හැම දේම ලියන්නට ගොස් කිච නොවන්න. දන්නේ එකක් නම් ඒ එක ලියන්න. හැම දෙයක්ම ලියන්නට අවශ්‍ය නම් ඉතාමත් ජෙනරික් ආකාරයේ ප්රෝෆයිලයක් සකසා ගන්න. උදා : කතන්දර කාරයා.


3. ඇනෝලා සමග වලියට නොයන්න

කතාවක් කියන්නන්.

ඉස්සර කාලෙක මෝඩ මිනිස්සු ජිවත් වෙච්ච ගමක් තිබ්බ. මේ ගමට හරියට මදුරු කරදරේ. ඉතින් ගමේ මිනිස්සු එකතු වෙලා පංචායත් එකක් තියල තීරණය කරා මදුරුවන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්න. යුද්ද දවසට දිනෙත් වෙන් කරගෙන , එදා උදෙන්ම කඩු , පොලු මුගුරු , කිනිසි අරගෙන ලැස්ති වෙච්චි පිරිස මදුරුවෝ එක්ක යුද්ද කරන්න කැලෑවට වැදුන. හවස බුදුන් වහන්සේ මේ ගම මැද්දෙන් තම සඟ පිරිස එක්ක වඩිනකොට , යුද්දෙට ගිය ගම වැසියෝ බරපතල කැපුම් කෙටුම් තුවාල ලබල මැසි වල තියාගෙන ගමට ගේනවා. මැරිච්ච මදුරුවෙක් නම් පේන්න නැහැ.

ඇනොල කියන්නෙත් ඇනොපිලිස් මදුරුවෝ වගේ ජාතියක් කියල හිතා ගත්තම ගොඩක් ප්‍රශ්න විසඳෙනවා නිකන්ම.

ගුටි කන්න ආස නැත්නම් බ්රුස්ලි එක්ක කරුවල කාමරේක වලියට යන්න එපා. මෝඩ කමට එහෙම ගිහිල්ල ගුටි වදිනකොට යාදින්නා කියන්නත් එපා. Give Anos the respect they deserve. නෝටි ඇනෝලත් අතරින් පතර හිටියට ඇනෝල තමයි බ්ලොග් ලෝකේ අර ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු වල තියෙන විදියට Checks and Balances හරියට පවත්වාගෙන යන්න උදවු කරන්නේ කියල තමයි මට නම් හිතෙන්නේ.


4. කල්ලි නොගැසෙන්න. අදීනව සැමදෙනා සමගම හිතවත්ව තමන්ගේ බ්ලොගය පවත්වාගෙන යන්න.

මට කොමෙන්ට් කෙටුවොත් තමයි මමත් උබේ එකේ කොමෙන්ට් කොටන්නේ. මේ පීචන් බ්ලොග් කරුවෙකු කල්ලි ගැසෙන ආකාරයයි. ආත්මාර්ථය , ස්වාර්ථය මුලික කරගත් මෙවැනි බ්ලොග් කල්ලි සහ කල්ලි සාමාජිකයන්ගේ ජනප්‍රියතාවය එම කල්ලියෙන් පිටට නොයයි. කිසි දවසක ඔවුන් බ්ලොග් පොරවල් නොවේ.


5. ක්‍රෙඩිට් දිය යුතු තැනට ක්‍රෙඩිට් දෙන්න 

ජපන් ටීවී ප්‍රෝග්‍රෑම් වලින් screen capture අරගෙන... මෙව්වා මගෙන්ම පමණයි. තව ඕනේ නම් ගහල එවන්නද මගේ දෝත උඩ තියල වගේ කූට වංචා ප්‍රයෝග කොට එමගින් ලැබෙන කෙටි ප්‍රසිද්ධියට ගිජු වී අනාත නොවන්න.

අප සියල්ලන්ම ඉපදෙන්නේ කිසිවක් නොදන්නන් ලෙසයි. අප දන්නා සියල්ලම වාගේ අප වෙනත් තැනකින් ලබාගත් දැනුමයි. තමන් යමක් ලිවීමේදී එලෙසින් තමන් දැනුම ලබා ගත ස්ථානය පිලිබඳ සඳහන කිරීම ඉතාමත් වැදගත් මහත්මා ලක්ෂණයකි. තාක්ෂණික අංශ ගැන ලිවීමේදී මෙය ඉතාමත් වැදගත් ය. තැනක් සඳහන් කිරීමට නොහැකි නම් ඒ මාතෘකාව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම පිණිස ලිංක් කීපයක් හෝ දැමීම වැදගත් වේ. එය තමන් අවතක්සේරු වීමක් නොව තමන්ගේ නිහතමානිත්වය සහ දැනුම බෙදා ගෙන පරිහරණ කිරීමේ කැමැත්ත දක්වන කැඩපතකි. බ්ලොග් ලෝකයේ මෙන්ම ජිවිතයේද දිග ගමනක් යන තැනැත්තෙකුගේ ලක්ෂණයකි.


6. නයි ඇරීමට නොයන්න. අරිනවා නම් ඉතාමත් නිහතමානිව හීනියට අරින්න.

ඉතාමත් නිහතමානි විදියට නයෙක් දෙන්නෙක් හෙමින් සීරුවේ ඇරියාට කමක් නැත. නමුත් එය ඕවර් කිරීමෙන් වලකින්න. "ඊමේල් කවිකාරිය නොහොත් මහා ඇදුරු බිරිඳකගේ කතා වස්තුව" වැනි අමු පීචන් නම් භාවිතා කිරීම , ග්‍රාම්‍ය ආකාරයෙන් නයි ඇරීම බ්ලොග් සෞක්‍යයට ඉතා අහිතකරයි. මහා ඇදුරෙක් නෙවෙයි දෙයියන්නාන්සේගේ අඹුව උනත් කියවන අපිට එය සත පහකට වැඩක් ඇති දෙයක් නොවෙන බව ඇයට තේරුම්ගත නොහැකි වීම කනගාටුවට කාරණයකි.

කකා , කකී ගැන හීනියට කරන නයි ඇරීම , තමන්ගේ කවි කතා ප්‍රසිද්ධ කිරීමේදී භාවිතා කරන සම්‍යක් ප්‍රයෝග මෙවන් අවස්ථාවලදී උදාහරණයට ගන්න.

7. තමන් ගොඩනගා ගත් බ්ලොග් චරිතය කුමක් වුවත් මහත්මයෙක් මෙන් හැසිරෙන්න. කුණුහරුප කියා පීචන් නොවන්න.

තමන් බ්ලොග් ලෝකයේ ගතකරපු කාලය සංසන්දනය කරලා බැලුව නම් කෙන්ජි අන්කල්ට ලේසියෙන්ම ඔබා මාමට වඩා ලෙන්ගතු කවුරුත් ආදරය කරන , ගරු කරන පොරක් වෙන්න තිබ්බ මේ වෙනකොට. නමුත් කෙන්ජි අන්කල්ම තමන්ගේ මුලික ප්‍රතිරූපය එක එකා එක්ක මෝඩ විදියට වලි දාගෙන කුණුහරුප කියාගෙන , බිමතේ මෝඩ කොමෙන්ටු කොටන්න ගිහිල්ල කිච කරගත්ත හින්ද තමන්ගේ ගමන ස්ලෝව් කර ගත්ත බව තමයි මට නම් පෙන්නේ. නමුත් කාලයත් සමග අත්දැකීම් ලැබීමෙන් පරිනත වීම නිසා දැන් ඔහු බුද්ධිමත්ව , සන්වරශිලිව මහත්මයෙක් වගේ , අපහාසාත්මක නොව උපහාසාත්මකව අදහස් දක්වන බව පෙනෙන්නට තියෙනවා. ඒ ගැන මගේ සුබපැතුම් ඔහුට. ඔහොම යං. You are on right track .


8. අනවශ්‍ය ලෙස දිගින් දිගට යම් කරුණක් සම්බන්ධයෙන් සාකච්චා කිරීමට යාමෙන් වලකින්න. 

තමන් හට එකඟ විය නොහැකි කරුණක් යම් තැනක දුටුවොත් , සංවරව , කරුණු/උදාහරණ සහිතව තමන්ගේ මතය ඉදිරිපත් කරන්න. ඉන්පසු දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් විශේෂ හේතුවක් නොමැතිව වාද කිරීමට යාමෙන් වලකින්න

විශේෂයෙන් දේශපාලනය , ආගම , ආර්ථිකය , ද්‍රවිඩ ප්‍රශ්නය වැනි අක් කොන් නැති මාතෘකා සම්බන්ධව නම් වාද කිරීමට නොයන තරමට හොඳයි. හේතුව තමයි මේ කරුණු සම්බන්ධයෙන් එක් එක පුද්ගලයන් දරන අදහස් වාද විවාද මගින් වෙනස් කිරීමට ඇති අපහසුතාවය.

අන්තිමට වෙන්නේ තමන් තමන්ගේ වටිනා කාලය නිස්කාරනේ වාද කරන්න යොදල වාදෙන් දිනුව කියල තිතා ගත්තට , අනිත් තැනැත්තා තමන්ගේ මතය වෙනස් කලේ නැති එක.

A person convinced with out his will ... is of the same opinion still
කියන කාරණය වාදෙකට යන හැම වෙලේම සිහියේ තබා ගැනීම වැදගත් වේවි

9. ගල් සහ මඩ නිහතමානිව බාරගන්න... වලියට නොයන්න (Always be cool  )

සමහර වෙලාවට ප්‍රවීන බ්ලොග් කරුවන්ටත් මේක කරගන්න බැරි අවස්ථා එනවා. මාරයා කෙල්ලෙක්ගෙ ලියුමක්  ගැන දාපු බ්ලොග් පොස්ට් එකේදී කකා ගේ කොමෙන්ට් එක ගැන මාරයා සහ ඊට පස්සේ අටම කරපු  බැනවැදීම නිසා සායම ගියේ මාරයගෙයි අටමගෙයි මිස කකාගේ නෙවෙයි.   කකා එතන කක්ක මුට්ටිය ගෙනල්ල තියල  හිමිට මාරු උනා. තට්ටය කට්ටය කියන්නේ නිකන් යැ. 


තමන්ට  තමන්ගේ බ්ලොගයේ , වෙන කෙනෙක්  තමන්ට  පිළිගන්න බැරි අදහසක් දැම්මා නම්  , ඒ සම්බන්ධයෙන්  කියන්න තියෙන්නේ බැන වැදීමක් විතරක් ම නම් ... මුකුත්ම නොකිය ඉන්න එක තමා නුවනට හුරු.

10. ඉක්මන් ජනප්‍රිය තාවය උදෙසා අන් බ්ලොග් ස්පෑම් කිරීමෙන් , හිඟන යාතිකා කිරීමෙන් වලකින්න. 

ට්‍රැෆික් අද්ද ගැනීමට කොමෙන්ට් කෙටීමෙන් වලකින්න.
උදා 1:
එල
මම වකපුටේ යන අහවලා

උදා 2:
පට්ටයි ඔයි
අපේ පැත්තෙත් එන්න මෙන්න පාර : gon-baas.blogspot.com

උදා 3:
හිකිස්
අනේ මාවත් මුන්නහෙගේ බ්ලොග් රෝලට දාගන්නවකෝ ඔයි. අනේ ඔයි. කියන තැනකට වඳින්නං ඔයි!

තමන්ට ට්‍රැෆික් අවශ්‍ය නම් , තමන්ගේ බ්ලොගය , පඳුරට ගැහුවම  100ක් විසිවෙන තරමට ඇති සිංහල බ්ලොග් සින්ඩිකේටර් වලට දමා ගන්න. වෙන බ්ලොග් වලට ගොස් එය "කියවා" මාතෘකාවට අදාළ කොමෙන්ටුවක් කොටන්න.ඔබගේ එම අදහස් දැක්වීමට කැමති කෙනෙක් ඉන්නව නම් ඔහු ඔබගේ බ්ලොගය හොයාගෙන එයි.  ගරිල්ලා මාකටිං කිරීමට ගොස් පීචන් නොවන්න 

හැදෙන එකෙක් ට මේ ටිප්ස් ටික හොඳටම ප්‍රමාණවත් ය. එහෙනම් මම චුත උනා භවනට . ටටා බායි.

31 comments:

  1. මහසොහොන් පිල්ලිය . දිගටම බ්ලොග් නොලියන්නේ මන්දැයි මට නොතේරේ, මන්ද මේ කරුනු අතරින් බොහොමයකට මට එකඟ විය හැකි නිසාය. (ඇත්තෙන්ම බොහෝ කිව්වට සියල්ලටම පාහේ ) කෙසේ වෙතත් ඔබ බ්ලොගයක් ලියන බව මෙතෙක් කල් දැන සිටියේ නැත. බොහෝවිට දැක ඇත්තේ කකාගේ කොමෙන්ට් පෙට්ටියේය.

    මම ඔබට යෝජනාවක් කරමි ,ඔබට හොඳ ලිවීමේ හැකියාවක්,සහ කාවදින ලෙස අන් අයෙකුට යමක් තේරුම් කරන හැකියාවක් ඇති බව පෙනේ . ඒ නිසා දිගටම ලියන්න , මේ බ්ලොගයට බ්ලොගර් ෆලොවර් බටන් එක දාන්න .

    ReplyDelete
    Replies
    1. මෙන්න මහසෝන් පිල්ලිය ගේ මා දැන සිටි බ්ලොග් එක. ඒක තවම පටන් ගත්තු තැනමයි.
      http://mahasohon.blogspot.com/

      !

      Delete
    2. මට පේන විදිහට මහසෝනට සක්‍රීය බ්ලොග්කාරුවෙක් වෙන්න ඕනෙ නැති හැඩයි. ඉඳල හිටලා මේ වගේ කියන්න ඕනෙ දෙයක් ලිනව මිසක :)

      මට නං ඒකෙ වරදක් පේන්නෙ නෑ. කමෙන්ට්කරුවෙක් ලෙස ඔහුගෙන් යමක් අපට ලැබෙන නිසා.

      Delete
    3. ස්තුතියි ඉවාන් , Anonymous 9 March 2014 19:37 කිව්ව දේ හරි. සක්‍රීය දිනපතා ලියන බ්ලොග් කරුවෙක් වීම අසීරුයි කාර්ය බහුලත්වයත් එක්ක. කලිනුත් කිව්වා වගේ ලිපියක් ලිවිම සඳහා
      1. ඒ ලියන මාතෘකාව සම්බන්ධයෙන් සංවේදී වීම
      2. ඇඟිලි කැසීම සහ හිතට අදහස් ගලාගෙන ඒම
      3. ඒ අදහස් අකුරු කිරීම සඳහා විවේකි අවස්තාවක්

      යන තුනම අවශ්‍යයි. මේවා ඔක්කොම සමපාත වෙලා එන්නේ අවුරුද්දකට කීප සැරයි. සුර්ය ග්‍රහණයක් වගේ

      @කකා
      ලිංක් එකක් දාන්න තියෙනවා නං මේ මනුස්සයට ....! :D ත්‍රිභාෂා ප්‍රසන්නට පුළුවන් උනා නං "බ්ලොග් රජු" වෙන්න පොස්ට් දෙකක් ලියල මටත් බැරි මොකද

      Delete
  2. මහසෝනා බ්ලොග් එකක් ලියනවා කියලා ඕන් අද තමා දන්නේ.

    කියලා තියනා කාරනා එක්ක බොහොම එකඟයි හා නොදැනුවත්වම මමත් බොහෝදුරට ඔය කියන සම්මතයන්ගේ පිහිටලා කටයුතු කරලා තියනවා කියලා හිතෙනවා.

    හැකිතරම් හාල්මැස්සන් කෑමත්, නියපොතු නිසි පරිධි වවා තිබීමත් සිංහල බ්ලොග් ලෝකේ පොරක් වීමට හොඳ සුදුසුකම් වේ. :D

    ReplyDelete
    Replies
    1. මේ ඔක්කොම කොමන් සෙන්ස් සෙන්නා.

      Delete
  3. මෙන්න උපදෙස්!!!!!!!!!!!!!
    සියල්ලටම වගේ එකඟයි.
    +++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරු.

      ඉන්දික උපශාන්ත March 9, 2014 at 10:55 AM said:
      ප/ලි. මේ තරන් පැහැදිලිව තේරුන් ගත්ත මිනිහ මොකද අර අරූගෙ බ්ලොග් එකේ අලි කනක් විතරක් බලල සතාගෙ හැඩේ කියන්න ගියෙ?

      Replying to this , All what I can say is "I lost my balance that day". I had my personal reasons but none of them matter nor justify the action.. and im extremely sorry and ashamed of what i did.

      Delete
    2. මහසොහොන්.........අපි ඕන කෙනෙක් කොයියම්ම වෙලාවක හරි බැලන්ස් එක ලොස්ට් කරගන්නවා බන්. ඒක ස්වභාවිකයි. ඒ නිසාම තමයි අපිට මණුස්සයෝ කියන්නේ. අපි කවුරුත් රහත් වෙලා නැහැනේ. මම බැලන්ස් එක නැති කරගත්ත අවස්ථා ඕන තරම් ඇති ජීවිතේ. ඒ බව සමහර වෙලාවට මම තෙරුම් අරන් තියෙනවා. සමහර වෙලාවට නැහැ. තේරුම් ගත්ත තැන් ගැන මම සතුටු වෙනවා. නැති තැන් ගැන දුක් වෙනවා. මහසොහොන් වගේ අය අඩුයි. වැඩිපුර ඉන්නේ එහෙම තේරුම් නොගන්න අය. අපි පෘථග්ජන මිනිස්සුනේ බන්. ඕවා ගැන හිතන්න එපා.

      Delete
  4. මේක මං කියවා අනුගමනය කරන Blogging 101 පොතේ සාරාශශය වගේ නේ!

    කාලෝචිතයි!
    "අනුමතයි"!!
    හැබැයි කියනවා වගේ නොවෙයි කොරල බලන්න ගියාම!!!

    ReplyDelete
    Replies
    1. "හැබැයි කියනවා වගේ නොවෙයි කොරල බලන්න ගියාම!!!" අන්න අභියෝගය

      Delete
    2. Blogging 101 පොත නම් කියවා නැත. මේ ඔක්කොම කොමන් සෙන්ස් යටතට ගත හැකි දේය. Seems as though people makes millions just by selling common sense to people who don't have it. :v

      කකා ගේ ලිපියට ටීකාවක් ලෙස ලියා ඇමිණුවා විනා දිගටම "කිරීමට" අදහසක් නැත ඉවාන්.

      Delete
    3. Blogging 101 කියා පොතක් තිබේදැයි මං දන්නේ නෑ. එය figurative speech භාවිතාවක් පමණයි.

      Delete
    4. මෙන්න වෙබ් අඩවියක් නම් හමුවුණා!
      http://www.bloggingbasics101.com/

      !

      Delete
    5. කකාට සෙකන්ඩ් වෙන්නේ කොහොමද ? මමත් දානවා ලින්ක් එකක්
      මෙන්න බ්ලොගින් ෆොර් ඩමිස් පොතම. මම කියවල නං නැහැ. මොකද මම ඔව්ව ලියන එකක්යැ
      :)

      Delete
  5. සැමටම එකඟයි. මාත් දැනගෙන හිටියෙ පරණ එක

    ReplyDelete
    Replies
    1. පරණ එක කැලේට ගොස් ඇත :D

      Delete
  6. කියපු කාරණා බොහොමයකට එකඟ විය හැක. කිව්වත් වගේ මේ කියන බොහෝ දේ පිළිපදිනා එකෙක් වේ නම් ඒ කකාය.බ්ලොග් සක්විති කියන්නේ නිකම්ය ! හැබැයි උන්නැහේ ඔය කිරි ටොයි මහාචාර්යල වගේ මේවයින් ඇඳ ගන්නේ නැත.අටම සහ මාරයා ගැන කියපු දේට නම් බ්ලොග් නොවේ කොයි දේටත් තමුන්ගේ අධ්‍යාපන සහ සමාජ පසුබිම බලපානවාය.පොර වීම සඳහා බ්ලොග් ලියන උන්ට පාඨමාලා පවත්වමින් පැස්ටෝල් නිරපරාදේ පුච්චා ගන්න වෙලේ මේ වගේ එක පුංචි ලියුම් කෑල්ලකින් වියයුත්ත කම්මුතු කිරීම අගනේය!

    ReplyDelete
    Replies
    1. ඔහු ලියන්නේ තාක්ෂණික පැත්ත විය හැක. මෙතන ඇත්තේ කොමන් සෙන්ස් ය. සාර්ථක වීමට දෙකම අවශ්‍යය.

      අද්‍යාපනය සහ සමාජ පසුබිම මෙන්ම දෙමවුපියන් තම දරුවන් හට සම්ප්‍රේෂණය කල values , විචක්ෂණ බුද්ධිය සහ සමාජයේ විවිධ ස්ථර සමග කටයුතු කිරීමෙන් උරා ගන්න අත්දැකීම් ද ඉතාමත් වැදගත් ය. මිතුරන් සමුහයක් මැද "මුගේ අම්මට" කියා කීම උචිත වුවත් බෝර්ඩ් මීටිමක වැදගතුන් සමුහයක් මැද එසේ කීම සිනහවට සහ පිරිහීමට හේතු වේ. තැනේ හැටියට ඇනේ ගැසීමට ඉගෙන ගත යුතුය.

      Delete
  7. //කල්ලි නොගැසෙන්න. අදීනව සැමදෙනා සමගම හිතවත්ව තමන්ගේ බ්ලොගය පවත්වාගෙන යන්න. //මෙන්න මේකෙන් තමයි බ්ලොගේට කෙලවිලාම ගියේ.රට ඉන්න උන් වෙනම කල්ලියක්.උන්ගෙන් ගරා ගන්න ලංකාවේ මල්ලිලා උන් එක්ක වෙනම කල්ලියක්.මල් බ්ලොග් කාරයෝ ටික වෙනම පාත්තියක්.

    ReplyDelete
    Replies
    1. මල් පාත්ති වලට නොයමි :D

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. සිංහල බ්ලොග් අවකාශයේ පොරක් වෙන්න කරන්න ඕනේ ඔව්ව නෙවෙයි මෙව්වා ;)
    http://ape-ambalama.blogspot.com/2013/07/blog-post_28.html

    ReplyDelete
    Replies
    1. ගරිල්ලා මාකටිං ක්‍රම ගොඩක් හඳුන්වල දීල තියෙන්නේ :P

      Delete
  10. ලිපිය දැක්කේ අද අහම්බෙන්, කකා ගේ පෝස්ට් එකේ කමෙන්ට් එකේ ලින්ක් එකෙන්.

    නියම (සහ කාලීන) ලිපියක් සොහොන්.

    දිගට ලියන්න බැරි නම්/ලියන්න දෙයක් නැත්නම් නොලිව්වත් කමක් නෑ මේ වගෙ ජෙම්ස් හිතට ආවම හරි ලියනව නම්. මේ ලිපියෙන් නම් සෑහෙන ඒරියා ගොඩක් කවර් වෙලා තියනව ස්පොට් ඔන්!

    මට හිතෙන්නෙ ඔබා මාම ගෙ ලීග් එකේ ප්ලේ කරන්නෙ හැලප සහ අරූ විතරයි කියලා. ඔය තුන්දෙනා ගෙන් එක්කෙනෙක් වත් ටෙක්ස්ට් බුක් "සිරිමත් මගෙ සකි" ටයිප් හොඳ බබාලා නොවුනත්, තමන් කරපු දේවල් කියන විදියෙ තියෙනවා moderation and self control.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රොෆයිල් ඇනෝ. ඔබා මාමගේ තිබ්බ charisma එක මම ලඟදි වෙන කෙනෙක් ගෙන් නම් දැක්කේ නැහැ. ඒකට හේතුවක් කියන්නත් අපහසුයි වගේ.

      Delete
  11. :D නියම විශ්ලේශනයක් කරන තියනව කියල හිතෙනව. බ්ලොග් ලියන සමහර අයගෙ ගොන් පාට් ගැනනම් කතාකරල වැඩක් නැ.

    ReplyDelete
  12. මේකෙ ලියන්න තියන දේවල් ලියල ඉවරද?

    ReplyDelete
  13. මචන් මහසෝනා
    මම ලියල තියන එකමනේ උඹත් ලියල තියෙන්නේ. මේක ගොඩක් ඉස්සර එකක් නේ
    කොපිරයිට් නඩු නම් එපා හොදේ

    ReplyDelete
  14. සීයට දෙසීයක් එකඟයි මහසෝන්..අපි බොහෝ දෙනෙක් ලියන්නේ තමන්ගේ ආත්ම තෘප්තියට.ඒවායේ හිට් රේට්, කමෙන්ටු බලාගෙන ලිවීම ඉතිං සම්මාන බලං රඟපානවා වගේ වැඩක්නේ..කමෙන්ටුවක් වැටුණම, හිට්ස් ආවම සතුටක් දැනෙනවා..එහෙම නෑ කිව්වොත් පෘථග්ජන මිනිස්සු හැටියට ඒක මහ පචයක්නේ...හැබැයි ඔය කමෙන්ටු හිට්ස් හිඟා කන එක මහ පීචං වැඩක්...සමහරු කිසිම පෝස්ටුවට කිසිම අදාළ කමක් නැතුව ඇවිත් දාලා යනවා අනේ අපේ පැත්තේ එන්න..අපෙනුත් මල් ගන්න කියලා..ඒක ඉතිං එක එක්කෙනාගේ මානසිකත්වය තමයි...:D

    ReplyDelete